
බිරියට පහර දී තුවාල සිදු කිරීම, බැන තර්ජනය කිරීම සහ තම අවුරුදු හතක දරුවාට කෲර ලෙස සැලකීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාර සැමියෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා, එය නොලැබුණු විට සැකකරු තම බිරියට පහර දෙන බවටත්, නිවසේ ආහාරපාන සඳහා ඇති මුදල් පවා බලහත්කාරයෙන් රැගෙන යන බවටත් බිරිය විසින් පොලිසියට ප්‍රකාශ කර තිබිණි. තවද,
තම දරුවාට අධ්‍යාපනය ලබා දීම වළක්වමින් පාසල් නොයවන ලෙසට සැකකරු තර්ජනය කරන බවටද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කර ඇප ලබා දීමට තීරණය කළාය.
කිරිබත්ගොඩ, නුවර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
සැකකරුට ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරිය, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 9ත් 12ත් අතර කාලය තුළ කිරිබත්ගොඩ පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට නියෝගයක් නිකුත් කළාය. එසේම, පැමිණිල්ල පාර්ශ්වයට කිසිදු බලපෑමක් නොකරන ලෙසටද සැකකරුට දැඩි ලෙස අවවාද කිරීමට මහෙස්ත්‍රාත්වරිය කටයුතු කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉකුත් 29 වන දා ලැබුණු පැමිණිල්ලක්, වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. පොලිස් විමර්ශනවලදී සැකකාර සැමියා මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රත්නායක මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.