niluka-kadurugamuwa-assumes-duties-as-ambassador-to-turkey

 තුර්කිය සඳහා ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ නිලූක කදුරුගමුව මහතා, අන්කාරා නුවරදී සැප්තැම්බර් 15 වන දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මීට පෙර ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.



තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කාර්ය මණ්ඩලය විසින් ඔහුව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, කදුරුගමුව මහතා විසින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අහ්මේත් සෙමිල් මිරෝලු මහතා වෙත සිය විශ්වාසභාර පත්‍රයේ විවෘත පිටපතක් පිළිගන්වනු ලැබීය.



කීර්තිමත් මාධ්‍යවේදියෙකු වන කදුරුගමුව මහතා, රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වීමට ප්‍රථම ලක්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව, ඒ මහතා කවියෙකු, ග්‍රන්ථ කතුවරයෙකු සහ පරිවර්තකයෙකු ලෙසද ප්‍රකටය.