female-drivers-and-conductors-for-sltb-buses

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොදු ප්‍රවාහන සේවය සඳහා නුදුරේදීම කාන්තා රියදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. අඟහරුවාදා (16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.



මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට මරියානා ආගාධයටත් වඩා ගැඹුරු අගාධයකට ඇද වැටී ඇති බවත්

එහි විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ දේශපාලනඥයන් බවත් අවධාරණය කළේය. දිවයින පුරා පිහිටි ශ්‍රී ලං.ග.ම. ඩිපෝ දැඩි අඩුපාඩුකම්වලින් පිරී, පොළොවේ ඇති අපායන් බවට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ වුවද, බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. ආයතනයේ පවතින සේවක හිඟය පියවීම සඳහා නව රියදුරන් සහ කොන්දොස්තරවරුන් 750 දෙනෙකු බඳවා ගනිමින් සිටින බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යළිත් ලාභ ලබන ආයතනයක් ලෙස ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.