ජලය පානය කිරීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි සිටි වයෝවෘද්ධ කාන්තාවකට පිහියෙන් ඇන ඇය සතු රන් මාලයක් කොල්ලකා පළා යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබේ. සැප්තැම්බර් 27 වන දින සවස් කාලයේ ජා-ඇල පොලිස් වසමට අයත් ඒකල, ජය මාවත ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වී ඇත.
අදාළ සැකකරුවන් දෙදෙනා මීට වසර හතරකට පමණ ඉහතදී එම නිවසේ වහලය අලුත්වැඩියා කිරීමේ නිරත වූවන් වන අතර, එම හඳුනාගැනීම උපයෝගී කරගනිමින් ජලය ඉල්ලා නිවසට ඇතුළු වී තිබේ. අනතුරුව නිවසේ තනිව සිටි 65 හැවිරිදි කාන්තාවගේ මුව ප්ලාස්ටර් යොදා වසා, ඇය පැළඳ සිටි පවුම් එකහමාරක් පමණ බරැති රන් මාලය කොල්ලකා ඇත. නිවසේ ඇති වෙනත් රන් භාණ්ඩ පෙන්වන ලෙස බල කරමින් ඔවුන් විසින් එම කාන්තාවගේ අත්වලට ස්ථාන හයකට ආසන්නව පිහි ප්‍රහාර එල්ල කරමින් බරපතල තුවාල සිදු කර තිබේ.
නිවස තුළ සිදුවන කලබලය පිළිබඳව සැක සිතූ අසල්වැසියන් එම ස්ථානයට පැමිණීමත් සමඟ කොල්ලකරුවන් පළා යාමට උත්සාහ කර ඇත. එහිදී එක් සැකකරුවෙකු ප්‍රදේශවාසීන් අතට පත් වූ අතර, ඔවුන් විසින් එල්ල කරන ලද පහරදීමෙන් ඔහුගේ දෙපා බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය, ගම්වාසීන් සමඟ එක්ව අනෙක් සැකකරු සොයා මෙහෙයුමක් දියත් කර තිබේ.
පිරිසට කොටු වීමට ආසන්න වීමත් සමඟ දෙවන සැකකරු තමා අත තිබූ පිහියෙන්ම සිය සිරුරට තුවාල සිදු කර ගනිමින් තමා අසලට නොපැමිණෙන ලෙසට තර්ජනය කරමින් පළා යාමට උත්සාහ දරා ඇත. කෙසේ වෙතත් පොලීසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව ද අත්අඩංගුවට ගැනීමට සමත් විය. අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති ආඩියාගල සහ කඩවත පදිංචි 53 සහ 29 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. පිහි ප්‍රහාරයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා ජා-ඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval