ceb-still-working-on-the-letter-discussion-to-be-held-the-day-after-tomorrow

 ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීම මත ලබන 01 වන දා පෙ.ව 10.00ට කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළේය.





මෙම සාකච්ඡාව සඳහා කම්කරු සහ බලශක්ති යන අමාත්‍යවරුන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිතවරිය, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත සියලු වෘත්තීය සමිති නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතව ඇත.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (28) දිනයට දින 24ක් පුරා ක්‍රියාත්මක වූ අතර, සිය ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තුරු එය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ප්‍රභාත් ප්‍රියන්ත මහතා අවධාරණය කළේය.

පසුගිය සතියේදී සියලුම වෘත්තීය සමිති එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත මෙම ගැටලුව සම්බන්ධයෙන් පැමිණිලි කළ බවත්, වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාමාර්ග උත්සන්න නොකර ගැටලුව විසඳීමට මැදිහත් වන බවට එම සංවිධානය පොරොන්දු වූ බවත් ඒ මහතා පැවසීය. එම මැදිහත්වීමේ පළමු පියවර ලෙස මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති අතර,

එමගින් ධනාත්මක විසඳුමක් අපේක්ෂාවෙන් සහභාගී වන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලදී රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, ගැටලුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර කම්කරු සංවිධාන මූලස්ථානය වෙත පවා යොමු කිරීමට එම සංවිධානය පොරොන්දු වී ඇතැයි ද ප්‍රභාත් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.