හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී රුපියල් මිලියන 2 කට අධික විදුලිය භාවිත කර එම මුදල නොගෙවා සිටීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමින් නීතිඥවරයකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.
නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ මංගල උත්සවයේදී රුපියල් මිලියන 2 කට අධික විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කර එම මුදල් නොගෙවා සිටීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පෙත්සම්කරු එහි සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා කරුණු දක්වමින්, අදාළ හිඟ මුදල මේ වන විට ගෙවා ඇති බැවින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රකාශයක් පමණක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අදාළ හිඟ මුදල ගෙවා ඇති බැවින් මෙම සිද්ධිය තවදුරටත් නොපවතින බවයි. දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඬුල්ල පෙත්සම විභාග කිරීමට අවසර දුන්නේය.
වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාද, ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නීතිඥ පසිදු සිල්වා මහතාද, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉරේෂා ද සිල්වා මහත්මියද පෙනී සිටියහ.
පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ සුළු වටිනාකම් සහිත විදුලි බිල්පත් පවා නියමිත වේලාවට නොගෙවූ විට ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කරන බවයි. එහෙත් මෙවැනි විශාල විදුලි ගාස්තුවක් නියමිත වේලාවට අයකර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත්, එම අසාමාන්‍ය ක්‍රියාකලාපය නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval