ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කළ රෝගියකුගේ අබිරහස් මරණය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටී. බද්දේගම රෝහලෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම, ගඟ අද්දර පාරේ පදිංචි 54 හැවිරිදි දෙදරු පියෙකි. පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර සඳහා ඔහු පසුගිය අගෝස්තු මස 27 වැනිදා 1990 ගිලන් රථ සේවය මගින් බද්දේගම රෝහලට ඇතුළත් කර ඇත. දින දෙකකට පසුව, එනම් අගෝස්තු 29 වැනිදා රාත්‍රී 11.34ට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව බද්දේගම රෝහලේ ගිලන් රථයෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
නමුත් රෝගියා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුදා, එනම් අගෝස්තු 30 වැනිදා අලුයම 1.36ට ය. බද්දේගම සිට කරාපිටිය දක්වා සාමාන්‍යයෙන් ගත වන්නේ විනාඩි 40ක පමණ කාලයක් වුවත්, මෙම ගමනට පැය දෙකකට ආසන්න කාලයක් ගතවීම පිළිබඳව පවුලේ ඥාතීන් සැක පළ කරයි.
අදාළ ගිලන් රථයේ සිටි සහායකයා කරාපිටිය රෝහල් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇත්තේ රෝගියා බද්දේගම සහ කරාපිටිය අතර ප්‍රදේශයකදී ගිලන් රථයෙන් බිමට පැන්න බවය. නමුත් රෝගියා ගිලන් රථයෙන් පැන්නාද, නැතිනම් වැටුණාද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති නිසා, මෙය බරපතළ සැකයකට හේතු වී ඇති බව ඥාතීහූ සඳහන් කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ සේවය හෝ රෝහල් බලධාරීන් විසින් පොලිසියට නිසි පරිදි දැනුම් දී නැත. රෝගියාගේ හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
ඥාතීන් පවසන්නේ බද්දේගම රෝහලින් ඔහුව මාරු කර යවා ඇත්තේ පාදයේ තුවාලයකට ප්‍රතිකාර සඳහා පමණක් බවයි. පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටින්නේ මරණයට ආසන්නව සිටි පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval