air-rifle-ammunition-found-during-surgery-on-young-man-who-was-beaten-with-a-club

 මිතුරෙකු විසින් පොල්ලකින් පහර දුන් බවට පවසා රෝහල් ගත කළ තරුණයෙකුගේ පිටේ සැත්කමක් කිරීමේදී  වායු රයිෆල් උණ්ඩ මූණිස්සමක් හමුවී ඉවත් කිරීමේ පුවතක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය අගෝස්තු 30 වන දා රාත්‍රියේ පොල්පිතිගම මූලික රෝහලේදී මෙම සැත්කම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.





එකම ගරාජයක සේවය කරන මෙම තරුණයා සහ ඔහුගේ මිතුරා අතර මෑතක සිට පැවති අමනාපයක් මෙම සිද්ධියට මුල් වී ඇති බවට තොරතුරු ලැබී ඇත. රෝහල් ගතව සිටින 21 හැවිරිදි තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක තනිව නිදා සිටියදී, සැකකාර මිතුරා රහසිගතව පැමිණ පොල්ලක් වැනි දෙයකින් පහර දී පළා ගිය බවයි.

කෙසේ වෙතත්, බාහිර තුවාලයක් නොපෙන්වූවද,

වේදනාව හේතුවෙන් රෝහල් ගත කළ තරුණයා පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඔහුගේ පිට තුළ ලෝහමය කැබැල්ලක් ඇති බවට සැක සිතී තිබේ. ඒ අනුව සිදුකළ සැත්කමේදී උණ්ඩයක් සොයා ගැනීමෙන් අනතුරුව, වෛද්‍යවරුන් විසින්ම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත. පහරදීම සිදුව ඇත්තේ වායු රයිෆලයකින් බවට වෛද්‍යවරු අනුමාන කරති.

රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එහිදී සිදුකළ තවත් සැත්කමකින් අමතර උණ්ඩ කොටස් ඉවත් කර ඇති බව පොලිසිය පවසයි. රෝගියාගේ තත්ත්වය බරපතළ නොවන නමුත්, ඔහු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබයි. වායු රයිෆලයෙන් වෙඩි තැබූ බවට සැක කෙරෙන මිතුරා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.