
සිය දරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය 80 හැවිරිදි මවක්, ගල් පහරක් වැදීමෙන් මියයාමේ ශෝචනීය සිදුවීමක් ඉබ්බාගමුව, කුඹල්අංග ගම්මානයෙන් වාර්තා වේ.
කුඹල්අංග ගම්මානයේ එකිනෙකාට යාබද නිවෙස්වල පදිංචි එම කාන්තාවගේ දියණියක
සහ පුතෙකු කලක සිට එකිනෙකා සමඟ අමනාපව සිටීම හේතුවෙන් ඔවුන් අතර
නිරන්තරයෙන්ම අඬදබර සහ ගැටුම් හටගෙන තිබී ඇත.
සිද්ධිය වූ දිනයේද
සොයුරා හා සොයුරිය අතර ඒ ආකාරයට ඇතිකරගත් බහින්බස් වීමක් ගැටුමක් දක්වා
දුරදිග ගොස් තිබේ. එහිදී දෙදෙනාම එකිනෙකාට ගල්මුල් ප්‍රහාර එල්ල කරගෙන
තිබේ. මේ ගැටුමට දරුවන්ගේ දරුවන් ද සම්බන්ධ වී ඇති බව පැවසේ. දරුවන් අතර
ඇතිව තිබූ ගැටුම දුටු වියපත් මව එය වැළැක්වීමට දෙපාර්ශ්වය අතරට ගිය
අවස්ථාවේදී සොයුරිය විසින් සොයුරාට එල්ල කළ ගල් පහරක් මවට වැදී ඇති බව
පොලිසිය කියයි.
මුහුණු ප්‍රදේශයට වැදී ඇති ගල් පහරින් ඇය සිහිසුන්ව
වැටීමෙන් පසුව ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර
ලබාදී ඇතත් එහිදී ඇය මරණයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසියට
කරන ලද පැමිණිල්ලකින් අනතුරුව මවගේ මරණය සම්බන්ධයෙන් ගල් ප්‍රහාරයක් එල්ල
කළ බව කියන හැට හැවිරිදි දියණිය සමඟ විසි හැවිරිදි ඇගේ පුතකු හා දියණියකද මුනුපුරෙකුද සැකපිට
අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වා ඇති අතර, එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මියගිය කාන්තාව හෘද රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බවට අනාවරණය වීමත් සමග, මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ දියණිය සහ ඇගේ පුත්‍රයා (මියගිය කාන්තාවගේ මුනුපුරා) ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කළේය. ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින මියගිය කාන්තාවගේ පුත්‍රයා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කජීදා බිබි නම් සිව්දරු මවකි.
සිද්ධිය වූ ස්ථානයේ පැවති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී, ගැටුම සඳහා දෙපාර්ශවයම යොදාගත් ගල් කැබලි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගොකරැල්ල පොලිසියට නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval