geological-survey-officials-behind-crystal-mineral-export-racket

 නීති විරෝධී ලෙස මෙරටින් පළිඟු ඛනිජ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සෘජු සම්බන්ධයක් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා චෝදනා කළේය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වෙත එම කාර්යාංශය කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේය.





මෑතකදී රේගුව විසින් අත්අඩංගුවට ගත් නීති විරෝධී පළිඟු කන්ටේනර් හතර පිළිබඳව ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, එම ජාවාරමට සම්බන්ධ සමාගමකට ගාල්ලේ පර්චස් 1.9ක ඉඩමක ඛනිජ ගබඩාවක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් නිකුත් කර ඇති ආකාරය හෙළිදරව් කළේය. කන්ටේනරයක් තබා වීල්බැරෝවක්වත් හැසිරවිය නොහැකි තරමේ කුඩා ඉඩමකට බලපත්‍ර දීමෙන්ම මෙම වංචාවට කාර්යාංශයේ අභ්‍යන්තර සම්බන්ධය පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දෙමින් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම බලපත්‍රය දීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් ආරම්භ කර ඇති බවයි.

තවද, අනාරක්ෂිත බවට තීන්දු කර පසුගිය මැයි මාසයේ කැණීම් නතර කළ කවුඩු පැළැල්ල ප්‍රදේශයේ පතලකට, ජූලි මාසයේදී නැවත බලපත්‍ර ලබා දී ඇත්තේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. අඩුපාඩු සකස් කිරීමට මාස තුනක කාලයක් ලබා දෙමින් බලපත්‍රය අලුත් කළ බව වැඩබලන අධ්‍යක්ෂවරිය සඳහන් කළ ද,

එම අඩුපාඩු සකස් කිරීමටත් පෙර කැණීම් නැවත ආරම්භ කිරීමට අවසර දීම බරපතළ තත්ත්වයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අදාළ බලපත්‍රය නිකුත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව නිලධාරීන් නිසි පිළිතුරක් නොදීම හේතුවෙන්, "දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න" යනුවෙන් කෝප් කමිටු සභාපතිවරයාට මැදිහත් වීමට ද සිදු විය. මෙම සාකච්ඡාවට පාදක වූයේ චීනයට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් පළිඟු ඛනිජ සහිත කන්ටේනර් තොගයකි.