magampura-port-company-defaulted-on-a-loan-of-1882-million-cope-committee-reveals

 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඇපකරයක් මත මාගම්පුර වරාය කළමනාකරණ සමාගම විසින් 2014 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 24ක ණය මුදලකින්, ඩොලර් මිලියන 18.82ක් (රුපියල් මිලියන 6,836ක්) 2023 වසර වන විටත් ගෙවා නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) හෙළිදරව් වී තිබේ.



ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.

පැහැර හැරි ණය මුදල අයකර ගැනීම සඳහා අදාළ පෞද්ගලික බැංකුව විසින් මාගම්පුර වරාය සමාගමට සහ වරාය අධිකාරියට එරෙහිව නඩු දෙකක් පවරා ඇති බවද මෙහිදී හෙළිවිය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් වරාය අධිකාරියේ නිලධාරීහු කමිටුවට දැන්වූහ. එමෙන්ම, 2022 ජුනි මාසයේ සිට ඈවරකරුවකු පත්කර අදාළ සමාගම ඈවර කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවද ඔවුහු සඳහන් කළහ.

කෙසේ වෙතත්, නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ කෝප් සභාපතිවරයා, සමාගම ඈවර කිරීමෙන් පමණක් වරාය අධිකාරියට සිය වගකීමෙන් මිදිය නොහැකි බව අවධාරණය කළේය. මේ පිළිබඳව වහාම අභ්‍යන්තර විගණනයක් සිදුකර, විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙසත් කෝප් කමිටුව වරාය අධිකාරියට නිර්දේශ කළේය.