land-buyer-and-lawyer-threatened-and-robbed-of-34-million

 ඉඩමක් විකිණීමේ මුවාවෙන් ගැනුම්කරුවෙකු සහ නීතිඥවරියක බිය ගන්වා රුපියල් ලක්ෂ 34ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්වූ ඉඩම් හිමිකරුවෙකු ලබන සැප්තැම්බර් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ කටාන, කෝංගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.





සිද්ධියට අදාළව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති ගැනුම්කරුට, සැකකාර ඉඩම් හිමිකරු විසින් තම ඉඩම විකිණීමට ඇති බව මුලින් දැනුම් දී ඇත. පසුව එම ඔප්පුව උකසකින් නිදහස් කර ගැනීමට යැයි පවසමින් ඔහු ගැනුම්කරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද ලබාගෙන තිබේ.

ඔප්පුව අත්සන් කිරීමට මීගමුවේ නීතිඥ කාර්යාලයකට පැමිණි අවස්ථාවේ, සැකකරු සහ තවත් දෙදෙනෙකු ඉඩමේ ප්‍රමාණය සම්බන්ධයෙන් හිතාමතා ආරවුලක් නිර්මාණය කර ඇත.

අනතුරුව ඔවුන් ගැනුම්කරුට සහ නීතිඥවරියට පහරදී, මරණීය තර්ජන එල්ල කර, පැමිණිලිකරු රැගෙන ආ රුපියල් ලක්ෂ 34ක මුදල සහ මුල් ඔප්පුව කොල්ලකා පළාගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ. එමෙන්ම, සිද්ධිය පොලිසියට වාර්තා කළහොත් පවුල් පිටින් විනාශ කරන බවටද සැකකරුවන් විසින් තර්ජනය කර තිබේ.

ලද තොරතුරක් මත ඒත්තුකාල වෙරළ තීරයේ සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වනවිට ඔහු සතුව තිබී රුපියල් 710,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.