ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ දක්ෂතාව සහ කැපවීම පිළිබඳව තමාට ඉමහත් ආඩම්බරයක් ඇති බව පවසන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධකරුවන්ට මුහුණ දීමට බියක් දක්වන නිලධාරීන් සිටී නම්, ඔවුන් පොලිස් සේවයෙන් ඉවත්ව යා යුතු බවට දැඩිව අවධාරණය කරයි. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත්
සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.ඇතැම් මාධ්‍ය විසින් "නිවට" අපරාධකරුවන් වීරයන් ලෙස හුවා දක්වන බවට චෝදනා කළ පොලිස්පතිවරයා, එවැනි සම්ප්‍රදායන් රට තුළ ඇති නොකරන ලෙසත්, මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා මාධ්‍යයේ බුද්ධිමය දායකත්වය ලබා දෙන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේය.
'කබ්බො ෆෝම් කරන්න එපා' යයි ඔහු මාධ්‍යයෙන් ඉල්ලීය.
පරම්පරා ගණනාවක් විනාශ කරමින්, පවුල්වලට සහ දරුවන්ට දහසකුත් වේදනා ගෙන දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන් මාධ්‍ය මගින් ඉස්මතු නොකළ යුතු බවද ඔහු කියා සිටියේය.
මෙම අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා සිය නිලධාරීන් දැක්වූ දායකත්වය සහ දක්ෂතාවය ඉහළින්ම අගය කරන බව පැවසූ පොලිස්පතිවරයා, මෙවැනි පුද්ගලයන්ට එරෙහි මෙහෙයුම් ඉදිරියේදී තවදුරටත් තීව්‍ර කරමින් පවතින තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවටද ප්‍රතිඥා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval