if-you-know-about-the-kids-speak-directly-police-chiefs-phone-numbers-to-be-made-public

 විස මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා මහජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය විසින් නව වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ භාවිතය පිළිබඳ ඕනෑම තොරතුරක් සෘජුවම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දීම සඳහා විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.

මෙම වැඩපිළිවෙළේ විශේෂත්වය වන්නේ පළාත් මට්ටමින් වගකීම් දරන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නිල ජංගම දුරකථන අංක මේ සඳහා වෙන් කර තිබීමයි.

හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා වැනි ඕනෑම ආකාරයක විස මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් වන තොරතුරු මෙම නව දුරකථන අංක ඔස්සේ අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.

එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ අනන්‍යතාව ඇතුළු සියලු විස්තරවල රහස්‍යභාවය සුරක්ෂිත කරන බවට පොලීසිය සහතික වන අතර, ලැබෙන තොරතුරු මත කඩිනමින් වැටලීම් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, බස්නාහිර පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න (0718591991), දකුණු පළාත සඳහා කිත්සිරි ජයලත් (0718591992), ඌව පළාත සඳහා මහේෂ් සේනාරත්න (0718592642), සබරගමුව පළාත සඳහා මහින්ද ගුණරත්න (0718592618), සහ වයඹ පළාත සඳහා අජිත් රෝහණ (0718592000) යන මහත්වරුන් සම්බන්ධ කරගත හැකිය. මීට අමතරව, මධ්‍යම පළාත භාර ලලිත් පතිනායක (0718591985), උතුරු මැද පළාත භාර බුද්ධික සිරිවර්ධන (0718592645), උතුරු පළාත භාර ටී.සී.ඒ. ධනපාල (0718592644) සහ නැගෙනහිර පළාත භාර වරුණ ජයසුන්දර (0718592640) යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක වෙත ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.