customers-were-defrauded-of-over-40-million-rupees-using-a-fake-combank-app

ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් සපයන 'කොම් බෑන්ක් ඩිජිටල්' පරිගණක තිරයට සමාන ව්‍යාජ පරිගණක තිරයක් භාවිත කරමින් තැන්පත්කරුවන් රවටා රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජාලගත වංචාවේ පරිගණක මෘදුකාංගය (ඇප් එක) විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට

කරුණු අනාවරණය වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය ඊයේ (25) පැවසීය. මෙම ව්‍යාජ ඩිජිටල් බැංකු පහසුකම් සැපයීමේ ජාවාරම ටෙලිග්‍රෑම් සමූහයක් ඔස්සේ ව්‍යාප්ත කිරීමට දායක වූයේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත මෙරට තරුණයන් 08 දෙනකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.




කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් අංශ අධ්‍යක්ෂවරයා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෝ බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් තිරයට සමාන තිරයක් භාවිත කරමින් රුපියල් 4,27,54984.00ක් වංචා කිරිම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරන බවය. බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.




කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දුතිස්ස මහතා කරුණු දක්වමින් පැමිණිලිකාර බැංකුවේ පරිගණක තිරයට සමාන ව්‍යාජ ඩිජිටල් තිරය සහිත පරිගණක මෘදුකාංගය විදේශයක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පැවසීය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදයංග මුණවීර මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයන් කොමිස් මුදලට සේවය කළ පුද්ගලයන් බවත් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. සැකකරුවන් බැංකු ගිණුම් අලුතෙන් නිර්මාණය කර නොමැති බවත් සිය බැංකු ගිණුම්වලට මුදල් ලබාගෙන විනාඩි තුනක් ඇතුළත එම මුදල් ලබාදෙන උපදෙස් පරිදි වෙනත් ගිණුමකට මාරු කර ඇති බවත් පැවසීය. ඒ සඳහා ඔවුන්ට සියයට දෙකක කොමිස් මුදලක් ලැබී ඇති බවද පෙන්වා දුන්නේය.

සාක්ෂිවලට බලපෑම් කිරීමට නොහැකි සැකකරුවන් ඇපමත මුදාහරින ලෙසද ඉල්ලා සිටියේය.


සැකකරුවන් වෙනුවෙන් නීතිඥ බී. ප්‍රියංග මහතා කරුණු දක්වමින් සැකකරුවන් මෙම ටෙලිග්‍රෑම් සමූහයේ වැටුපට සේවය කළ පුද්ගලයන් ලෙස කටයුතු කර ඇති බව පැවසීය. තමන්ගේ ගිණුම්වලට ප්‍රේෂණය වන මුදල්, අන් අයගේ ගිණුම්වලට මාරු කිරිම සිදුකර ඇති බවත්, ඔවුන්ට ඒ සඳහා කොමිස් මුදලක් ද ලැබී ඇති බවත් පැවසීය. ඒ අනුව සැකකරුවන්ට සුදුසු කොන්දේසියක් යටතේ ඇප දෙන ලෙසට ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.