speakers-bias-is-what-will-bring-us-to-a-vote-of-confidence-ajith-p-perera

 කථානායකවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බැවින්, නුදුරු අනාගතයේදීම ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කථානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු එම ධුරය දැරීමට නුසුදුස්සෙකු වී ඇති බවත්, එම ධුරයට අවශ්‍ය හික්මීම සහ අපක්ෂපාතීත්වය ඔහු වෙතින් විද්‍යාමාන නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.





නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට නීතිපතිවරයා විසින් 2025 අගෝස්තු 20 වන දින පාර්ලිමේන්තු මහලේකම්වරියගේ ඉල්ලීම මත නිර්දේශයක් ලබා දී තිබියදීත් කථානායකවරයා එය නොසලකා හැර ඇති බව අජිත් පී. පෙරේරා මහතා සභාව හමුවේ අවධාරණය කළේය. අදාළ නීතිපති නිර්දේශය තමන් සභාගත කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම කාරණය සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තු ලේකම් කාර්ය මණ්ඩලයෙන් වාර්තා දෙකක් කැඳවා ඇති බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය. 2025 සැප්තැම්බර් 03 වන දිනැති පළමු වාර්තාවේ, විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බවට කිසිදු සඳහනක් කර නොමැති අතර, අදාළ නිලධාරියා නිලයක් දරන බැවින් යෝජනාව ඉදිරියට ගෙන යා හැකි බවට මූලධර්මාත්මක එකඟතාවක් දක්වා තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.



පසුව, 2025 සැප්තැම්බර් 04 වන දින කැඳවූ දෙවන වාර්තාව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඉන් පළමුවැන්න එය දෝෂාභියෝග යෝජනාවක් ලෙස සැලකිය හැකි බවත්, දෙවැන්න නම් යෝජනාව පවතින ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට හැකියාව ඇති බවත්ය. මෙම වාර්තා සහ නීතිපති උපදෙස් නොසලකා හරිමින් කථානායකවරයා කටයුතු කිරීම ඔහුගේ පක්ෂග්‍රාහීත්වය මනාවට පැහැදිලි කරන්නක් බවද අජිత్ පී. පෙරේරා මහතා වැඩිදුරටත් චෝදනා කළේය.