ice-was-made-in-the-kandana-house-where-noises-were-heard-at-night

පසුගියදා රසායන ද්‍රව්‍ය තොගයක් හමුවූ  කඳාන ප්‍රදේශයේ නිවසේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් පමණ නිෂ්පාදනය කර ඇති බවට පොලීසිය සැක කරයි. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන පුද්ගලයන් වන්නේ 'කෙහෙල්බද්දර පද්මේ' සහ 'පානදුරේ කුඩු නිලංග' යන අයයි. ඔවුන් මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගෙන ඇත්තේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කුලී පදනම මත ලබාගත් නිවාස හරහා බවත් පොලීසිය පවසයි.


කඳාන නිවස අසළ අසල්වාසීන් දන්වා සිටියේ එම නිවසේ රෑට රෑට ශබ්ද ඇසුණ බවත් කුමක් කරනවාදැයි සැකයක් පැවති බවත්ය. ඒ අනුව පොලිසිය පවසන්නේ මෙහි රසායන ද්‍රව්‍ය ගබඩා කරාට අමතරව ඒවා ඇසුරින් දේශීයව 'අයිස් මත් ද්‍රව්‍ය' නිපදවීම්ද සිදුකර තිබූ බවයි.
මෙම නිවස මාසිකව රුපියල් 150,000ක කුලී පදනම මත පසුගිය අගෝස්තු 11 වැනිදා පස් දෙනෙකුගෙන් යුත් පිරිසකට ලබා දී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. නිවෙස් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, ඉතා වැදගත් පෙනුමක් ඇති මෙම පිරිස සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි බවයි. නිවසට යාබදව පදිංචිකරුවන් පවසා ඇත්තේ, උස් තාප්පයකින් වට වූ සහ ආරක්ෂක කැමරා සවි කර තිබූ මෙම නිවසින් දිවා රාත්‍රී කාලයේ යන්ත්‍ර ක්‍රියාත්මක වන ශබ්ද ඇසුණු බවයි. මෙම ස්ථානය නිවෙස් සහ ගෙවතු අලංකරණයට යොදා ගන්නා කැට වර්ග නිෂ්පාදනය කරන ස්ථානයක් බවට අසල්වාසීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බව ද ඔවුන් පවසා තිබේ.



අත්අඩංගුවට ගත් සුදු පැහැති කැට සහ කුඩු සහිත රසායනික ද්‍රව්‍ය,

නිවසේ මල් පාත්ති සහ මල් පෝච්චිවල අලංකරණයට යොදා ඇති අතර, තවත් විශාල ප්‍රමාණයක් නිවසට යාබද වල්බිහි වූ ස්ථානවල වළ දමා තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණ යුවළක් සහ දරුවකු නිවසින් පලා ගොස් ඇති බවට පොලිසිය සඳහන් කරයි. 

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් සොයාගත් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක තොගය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙම රසායනික ද්‍රව්‍ය මිද්දෙණියට ගෙන එන අවස්ථාවේදී ප්‍රාදේශීය මන්ත්‍රී සම්පත් මනම්පේරි එය නිරීක්ෂණය කර ඇති බවත්, ඔහු දැනට අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවත් පොලීසිය කියයි.

මිද්දෙණියෙන් ගොඩබෑ රසායනික ද්‍රව්‍ය තොගයෙන් කොටසක් නුවරඑළිය ප්‍රදේශයේ කුලී නිවසකට ගෙන ගොස් ඇති අතර, එහිදී ලොරි රථය කාර්මික දෝෂයකට ලක්ව ඇත. ප්‍රදේශවාසීන්ට සැකයක් ඇතිවීම වැළැක්වීම සඳහා බැකෝ යන්ත්‍රයක් ගෙන්වා එය ඉවත් කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ඉන් පසුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය හම්බන්තොට, ගොඩගම සහ අවසානයේ කඳාන ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත.

මෙම ගමන් මාර්ගයේ සියලුම ස්ථානවල වීඩියෝ දර්ශන සහ ඡායාරූප තවත් පුද්ගලයෙකු විසින් කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග වෙත යවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය සැක කරන්නේ මේ ආකාරයෙන් ගෙන ආ රසායනික ද්‍රව්‍යවලින් කොටසක් යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවයි. මෙම ජාවාරමට සම්බන්ධ ලොරි රථය සොයා ගැනීමට පොලීසිය මේ වන විටත් විමර්ශන පවත්වයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් සිදු කෙරේ.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8