doctor-arrested-for-obstructing-staff-at-teldeniya-base-hospital

තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් එම රෝහලේම වෛද්‍යවරයෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍යවරයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට සැක කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.



මීට පෙර පසුගිය අගෝස්තු මස 22 වැනිදාද මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එම අවස්ථාවේදී පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇත්තේ ඔහු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. අනතුරුව, ඔහුගේ සොහොයුරෙකු විසින් ප්‍රතිකාර සඳහා යොමු කරන බවට දුන් පොරොන්දුව මත අධිකරණය ඔහු ඇප මත නිදහස් කර තිබුණි.



එසේ නිදහස් වී පැමිණි පසුවද මෙම වෛද්‍යවරයා දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදීම් සහ තර්ජනය කිරීම් සිදු කරමින් රාජකාරිවලට බාධා කර ඇති බව තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පවසයි. ඔහු අධිකරණ නියෝගය අනුව ප්‍රතිකාර සඳහා යොමු වූ බවක් පෙනෙන්නට නැති බවද ඔහු සඳහන් කරයි. මේ හේතුවෙන් පොලිසියට යළි පැමිණිලි කිරීමට සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.