
වීරඹුගෙදර පොලිස් වසමට අයත් ග්‍රාමීය රෝහලක මානසික රෝග ප්‍රතිකාර ඒකකයක සිටි 16 හැවිරිදි දැරියකට අතවර කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම රෝහලේ සුළු සේවකයෙකු ඇප මත මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය. සැකකරු රුපියල් දසදහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදා හැරීමට නියම විය.
මෙම සැකකරු වැල්ලව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය වී සති දෙකකට පමණ ඉහතදී රෝහලට ඇතුළත් කර සිටි වින්දිත දැරිය විසින් තම මවුපියන්ට දැනුම් දීමෙන් පසුව මෙය අනාවරණය වී ඇත. අනතුරුව රෝහල් පරිපාලනයේ පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය විමර්ශනයක් සිදුකර සැකකරුට දඹදෙණිය මූලික රෝහලට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
කෙසේ වෙතත්, වින්දිත දැරියගේ මවුපියන් විසින් මෙම දඬුවම ප්‍රමාණවත් නොවන බවට වීරඹුගෙදර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ විය. එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින දහහතක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති ජී. දුනුසිංහ මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ, තම සේවාදායකයාට එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, පැමිණිලිකාර දැරිය උග්‍ර මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇයගේ ප්‍රකාශ පිළිගත නොහැකි බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval