beira-lake-stinks-again-hotels-are-closing

 බේරේ වැවෙන් හමන අධික දුර්ගන්ධය හේතුවෙන් ඒ අවට හෝටල් සහ නිවාසවල පදිංචිකරුවෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කොළඹ නගරයේ මළ අපද්‍රව්‍ය, අපජලය සහ පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් වැවට බැහැර කිරීම මෙම තත්ත්වයට හේතුව වී තිබේ. දුර්ගන්ධය නිසා හෝටල් කිහිපයක් වසා දමා ඇති බවද වාර්තා වේ.



මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බේරේ වැව පිරිසුදු කිරීම සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බළකායේ සභාපති චතුර කහඳවආරච්චි මහතා කියා සිටියේ,

වැව පිරිසුදු කිරීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි. කෙටිකාලීන වැඩසටහන යටතේ වැවට මළ අපද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්, වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික බෝට්ටු යොදාගෙන ඇති බවත් ඔහු පැවසීය. මෙම බෝට්ටු මගින් පොලිතින්, ප්ලාස්ටික් සහ ජපන් ජබර වැනි අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ එකවර එකතු කරගත හැකි බවද ඔහු සඳහන් කළේය.



දිගුකාලීන විසඳුමක් ලෙස, ඇළවල් අටකින් ගලා එන මලාපවහන සහ අපජලය කොළඹ මහ නගර සභාවේ පොම්පාගාරයක් හරහා වැල්ලවත්තෙන් මුහුදට බැහැර කිරීමට සැලසුම් කර ඇතැයි කහඳවආරච්චි මහතා පැවසීය. දැනට පවතින වසර 100ක් පමණ පැරණි නළ පද්ධතියේ ඇති පලුදු හේතුවෙන් අපද්‍රව්‍ය වැවට එකතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම, බේරේ වැව ආශ්‍රිතව මලාපවහන පිරිසුදු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ඉඩමක් වෙන් කරගෙන ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසර පහක පමණ කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.