helicopter-crash-into-maduru-oya-reservoir-was-it-a-criminal-offense

මාදුරුඔය ජලාශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධමය වරදක් සිදුවී ඇත්දැයි විමර්ශනය කර එළඹෙන 11 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ ගුවන් අනතුර පිළිබඳ නඩුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. අධිකරණය හමුවේ මූලික කරුණු දැක්වූ පොලිස් සැරයන් (49145) ගුණරත්න මහතා, දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත කරුණු දක්වමින්, මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයක නිදර්ශන චාරිකාවක් සඳහා මෙම හෙලිකොප්ටරය යොදවා තිබූ බව ප්‍රකාශ කළේය.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 වර්ගයේ මෙම යානය, පළමුව මාදුරුඔය කඳවුරට ගොඩබස්වා,

යුද හමුදා විශේෂ බළකායේ සෙබළුන් කිහිප දෙනෙකු නංවාගෙන නිදර්ශන කටයුත්ත සඳහා යළි ගුවන්ගත වී තිබේ. එසේ මාදුරුඔය ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය ජලාශයට කඩා වැටී ඇති බවට අරලංගවිල පොලිසිය මගින් දෙහිඅත්තකණ්ඩිය පොලිසියට පළමු දැනුම් දීම සිදුකර ඇති බවද සැරයන්වරයා අධිකරණයට දැන්වීය. අනතුර පිළිබඳ දැනගත් වහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුවත් කරමින් කඩා වැටුණු යානයේ සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද, ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද වෙන වෙනම විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානය පාලනය කළ ප්‍රධාන ගුවන් නියමු, ප්ලයිට් ලෙෆ්ට්නන් පෝලන් ජයවර්ධන මහතා, යානය අනතුරට පත් වූ ආකාරය පිළිබඳව මීට පෙර අධිකරණයට සාක්ෂි ලබා දී තිබිණි.



gossiplanka image 2