කල්පිටිය ප්‍රදේශයේ පැවති සංගීත සාදයක් අතරතුර තම පෙම්වතා සමඟ නර්තනයේ යෙදී සිටි 31 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට ලිංගික අතවර කර පහර දීමේ චෝදනාවක් මත සංචාරක මගපෙන්වන්නන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිදුවීම අගෝස්තු 30 වන දින කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලිසිය පවසයි. සිය පෙම්වතා සමඟ කල්පිටියේ කන්දකුලිය ප්‍රදේශයට පැමිණ සිටි මෙම විදේශීය කාන්තාව, ඒ ආසන්නයේ හෝටලයක පැවති ඩී.ජේ. සංගීත වැඩසටහනකට සහභාගී වී ඇත.
එම සාදයට විදේශිකයන් මෙන්ම දේශීය තරුණයන් ද සහභාගී වෙමින් සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් විනෝද වූ බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී තමන් වෙත පැමිණි පිරිසක් තම සිරුර අනිසි ලෙස ස්පර්ශ කළ බවත්, තමන් ඊට විරුද්ධත්වය පෑමේදී ඔවුන් විසින් තමන්ට පහර දුන් බවත් ඇය වැඩිදුරටත් කියා සිටී.
පහරදීමෙන් ඇගේ වම් ඇසට ඉහළින් තුවාලයක් සිදුවී ඇති අතර, ඒ සඳහා ඇය පුත්තලමේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විදේශීය කාන්තාව විසින් අගෝස්තු 31 වන දින කල්පිටිය පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී සැකකරුවන් තිදෙනා හඳුනා දී තිබේ.
පොලිස් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 23, 34, සහ 39 වන වියේ පසුවන සැකකරුවන් තිදෙනාම කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. ඔවුන් කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval