රාජ්‍ය සේවාවන් තනි ඩිජිටල් යෙදුමක් හරහා මහජනතාවට ලබාගැනීම සඳහා 'Government SuperApp' නමින් නව යෙදුමක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා සේවා සැපයීම විසිරී පැවතීම, එකම දත්ත නැවත නැවත විවිධ පද්ධතිවලට ඇතුළත් කිරීමට සිදුවීම සහ සංකීර්ණ අනන්‍යතා තහවුරු කිරීමේ ක්‍රියාවලීන් හේතුවෙන් මහජනතාව මේ වනවිට දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන බව හඳුනාගෙන ඇත. මෙම අකාර්යක්ෂමතාව හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 500 ඉක්මවූ ආර්ථික පාඩුවක් සිදුවන බවට ද ගණන් බලා තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව, ඒකාබද්ධ වේදිකාවක් ඔස්සේ රාජ්‍ය සේවා සැපයීම සඳහා මෙම සුවිශේෂී යෙදුම සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇත්තේ එබැවිනි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සියලුම රාජ්‍ය සේවාවන් තනි, පරිශීලක-හිතකාමී ජංගම දුරකථන සහ වෙබ් යෙදුමකට ඒකාබද්ධ කිරීමයි. එමඟින් වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන් මිලියන 14කට අධික සංඛ්‍යාවකට සහ වාර්ෂිකව පැමිණෙන විදේශීය සංචාරකයින් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා පහසුවෙන් සේවා ලබාගැනීමට අවස්ථාව සැලසේ.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව 2025-2026 කාලසීමාව තුළ රුපියල් මිලියන 500ක සම්පූර්ණ අයවැයක් යටතේ අදියර දෙකකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval