රාජාංගණය ජලාශය නැරඹීමට පැමිණි මියන්මාර ජාතික තරුණියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන ධීවරයෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. දෙස් විදෙස් මුදල් සහ වැදගත් ලියකියවිලි රැසක් තිබූ එම මුදල් පසුම්බිය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
25 හැවිරිදි මෙම විදේශීය තරුණිය, සිය ශ්‍රී ලාංකික පෙම්වතා සමග රාජාංගණය ජලාශය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී ඡායාරූපයක් ගැනීම සඳහා සිය මුදල් පසුම්බිය ගලක් මත තබා ඇත. මොහොතකින් නැවත එම ස්ථානයට පැමිණි ඇයට සිය මුදල් පසුම්බිය දක්නට නොලැබීමෙන් පසු ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි.
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නොවිසඳුණු අපරාධ ඒකකය, රාජාංගණය, සෝලේවැව ප්‍රදේශයේ පදිංචි සැකකාර ධීවරයා අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු, සොරකම් කළ මුදල් පසුම්බිය ජලාශය ආසන්නයේ වනරොදක සඟවා තිබූ බවට පාපොච්චාරණය කිරීමෙන් පසු පොලිසිය එය සොයා ගැනීමට සමත් විය.
පොලිසියට අනුව, පසුම්බියේ ඇමරිකානු ඩොලර් 50ක්, ඩිරාම් 2600ක්, ශ්‍රී ලංකා රුපියල් 35,000ක් ඇතුළු දෙලක්ෂ අසූපන්දහසකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ විදේශීය හැඳුනුම්පත්, බැංකු කාඩ්පත් ඇතුළු ලේඛන කිහිපයක් තිබී ඇත. සොයාගන්නා විට එහි තිබූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් දසදහසක් අස්ථානගතවී තිබූ බව පොලිසිය පවසයි. තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval