drug-business-cashier-arrested-in-wattala

 කොළඹ සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් එකතු කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වත්තල, හුණුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු, දැනට විදෙස්ගතව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මුදල් භාරකරු ලෙස කටයුතු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ඔහු 45 හැවිරිදි විවාහක තිදරු පියෙකි.



අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු සැප්තැම්බර් 9 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර,

ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සැප්තැම්බර් 8 වන දින සිදු කරන ලද මෙම වැටලීමේදී, සැකකරුගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික මුදලක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඊට අමතරව, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා යොදා ගත හැකි ව්‍යාජ අංක තහඩු 20ක්, ඒවාට අදාළ ව්‍යාජ ආදායම් බලපත්‍ර 20ක්, මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑම් 20ක්, මෙන්ම ව්‍යාජ වීසන් රක්ෂණ පත්‍ර පහක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ව්‍යාජ අංක තහඩු අපරාධ සඳහා යොදා ගත් වාහනවලට ලබා දී ඇත්ද යන්න පිළිබඳව ද පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.