did-pohottu-mp-bring-ice-chemicals-from-a-container-that-was-released-from-the-port-without-being-checked-in-january-namal-asks

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ධූර දරමින් සිටින හා දැරූ සොයුරින් දෙපළක ගෙනවිත් සඟවා තැබූ අයිස් නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් සම්බන්ධයෙන් කරුණු රටට හෙළි කරන ලෙසත්, ඒවා ජනවාරි මාසයේ වරායෙන් නිදහස් කළ කන්ටේනර් 300 අතර තිබූ ඒවා දැයි පැහැදිලි කරන ලෙසත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයට අභියෝගයක් කළේය.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල මහතා තමාට මඩ ගැසීම ගැන කනගාටුවන බව පැවසු රාජපක්ෂ මහතා මෙම කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මීට පෙර තොරතුරු දැනගෙන සිටියා ද යන්න රටට හෙළි කළ යුතු බව සඳහන් කළේය. ජනවාරි මාසයේ නිදහස් කළ කන්ටේනර් 323 සහ ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙස ද ඔහු නැවතත් ආණ්ඩුවට අභියෝග කළේය. මෙම කරුණු හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.



ආණ්ඩුව තම පින්තූර පෙන්වමින් මඩ ගසන බවත්, එය තවදුරටත් ඉවසන්නේ නැති බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය. "රත්තරන් අශ්වයෝ, ඩුබායි මැරියට් හෝටල්, උගන්ඩාවේ සල්ලි, රොකට්" වැනි කතා කියා මීට පෙරද මඩ ගැසූ ආණ්ඩුව, දැන් කන්ටේනර් සිද්ධියක් අල්ලාගෙන සුපුරුදු පරිදි මඩ ගසන බව ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

ජනවාරි මාසයේ කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාදැයි හෝ ඒවායේ තිබූ භාණ්ඩ මොනවාදැයි හෙළි කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවද රාජපක්ෂ මහතා කීය. අයිස් නිෂ්පාදනය සඳහා නුවරඑළියේ ඉඩමක් ලබා දුන්නේ කෙසේද යන්න ද රජය රටට හෙළි කළ යුතු බව ඔහු අවධාරණය කළේය. රටේ පවතින ප්‍රචණ්ඩත්වය සහ පාතාල වෙඩි තැබීම් නතර කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත්, ඔවුන් කරන්නේ විපක්ෂයට මඩ ගැසීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.