sri-lankans-living-abroad-to-be-given-voting-rights

 විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිය ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසන නව නීති සම්පාදනය කිරීමේ හා පවතින නීති සංශෝධනය කිරීමේ අරමුණින් අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. රජයේ ප්‍රවෘත්ති

දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් 16 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම තීරණය ප්‍රකාශ කළේය.

මෙම කමිටුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව,

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ මෙන්ම අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පත් කිරීමට නියමිතය. ඊට අදාළ යෝජනාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එන්.එච්. අබයරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. වත්මන් මැතිවරණ නීතියට අනුව ඡන්ද බලය හිමිවන්නේ මෙරට වාසය කරන, ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි පුරවැසියන්ට පමණක් වන අතර, විදෙස්ගත පුරවැසියන් සඳහා ක්‍රමවේදයක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි ආසියාතික රටවල් රැසක් දැනටමත් තම විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ඇති බැවින්, ශ්‍රී ලංකාවටද එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් බව රජය හඳුනාගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තම පක්ෂය මේ පිළිබඳව පොරොන්දු වූ බවත්, 2015-2020 පාර්ලිමේන්තු කාලසීමාවේදී පත්කළ තේරීම් කාරක සභාවකදීද තම නියෝජිතයන් මේ වෙනුවෙන් පෙනී සිටි නමුත් එය සාර්ථක නොවූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. මෙම කටයුත්ත කඩිනම් කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, තැපැල් ඡන්ද අයිතිය ලබා දෙන ලෙස සෞඛ්‍ය, මාධ්‍ය සහ ගුවන් සේවා වැනි වෘත්තීය ක්ෂේත්‍ර රැසකින් ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, එම ඉල්ලීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බවත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.