father-cuts-off-son-in-laws-ear-with-an-axe-after-he-couldnt-tolerate-his-daughters-harassment
සිය දියණියට බෑණනුවන්ගෙන් නිරන්තරයෙන් සිදුවන හිංසා පීඩා ඉවසාගත නොහැකි වූ පියෙකු, කැත්තකින් පහර දී ඔහුගේ වම් කන සම්පූර්ණයෙන්ම වෙන්වී යන සේ කපා දැමීමේ සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, පහරකෑමට ලක්වූ 28 හැවිරිදි බෑණනුවන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවත්, ඔහුගෙන් දිගින් දිගටම සිදුවූ අමානුෂික පහරදීම් හේතුවෙන් ඔහුගේ බිරිඳ මානසික රෝගී තත්ත්වයකට පවා පත්ව සිටින බවත්ය.

ආරවුලක් හේතුවෙන් සැමියා විසින් නිවසින් පන්නා දැමීමෙන් පසු, අදාළ කාන්තාව සිය පියාගේ නිවසේ රැඳී සිට ඇත.

පසුගිය 11 වන බ්‍රහස්පතින්දා, සැමියා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඇතිවූ බහින්බස් වීමක්, මෙම ප්‍රහාරයෙන් අවසන් වී තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බෑණනුවන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහරදීම සිදුකළ 53 හැවිරිදි පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.