
දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ සිය නිවසේ නිදි යහන මත මියගොස් සිටි 34 හැවිරිදි කාන්තාවගේ මරණය, ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වීමත් සමග ඇගේ සැමියා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙස සේවය කළ එක් දරු මවකි. පසුගිය 13 වන දින, මෙම කාන්තාව සිය නිවසේ කාමරයක මියගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශයක් ලබාදුන් ඇයගේ සැමියා පවසා තිබුණේ, විභාගයකට සූදානම් වෙමින් සිටි තම බිරිඳ සවස හතරට පමණ නින්දට ගිය බවත්, රාත්‍රී නවයට පමණ අවදිකරන ලෙස තමාට පැවසූ බවත්ය. ඒ අනුව නියමිත වේලාවට ඇයව අවදි කිරීමට උත්සාහ කළද, ඇය අවදි නොවූයෙන් හදිසි අසනීප තත්ත්වයක් යැයි සිතා 1990 ගිලන් රථ සේවය ගෙන්වූ බවද ඔහු සඳහන් කර තිබුණි.
ගිලන් රථ සේවයේ නිලධාරීන් විසින් ඇය මියගොස් ඇති බව තමාට දැනුම් දුන් බව සැකකාර සැමියා පොලීසියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මරණය සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.
අද (15) දින දඹුල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. එන්. සී. සේනාරත්න මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, හිසට සිදුවූ බරපතළ හානියකින් පසු ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයක් මරණයට හේතුව බවට අනාවරණය විය.
මෙම අඹුසැමි යුවළගේ පස් හැවිරිදි දරුවාගේ බියපත් වූ සහ සැකකටයුතු හැසිරීමද මරණය සම්බන්ධයෙන් වූ පොලිස් සැකය තීව්‍ර කිරීමට හේතු වූ බව වාර්තා වේ.
ඒ අනුව, සැකපිට අත්අඩංගුවට ගත් සැමියාගෙන් ඝාතනය සිදුකළ ආකාරය පිළිබඳව පොලීසිය ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුව දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval