young-man-who-was-lost-while-working-in-israel-returns-to-sri-lanka

 ඊශ්‍රායලයේදී අසරණව සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවූ මොනරාගල ප්‍රදේශයේ තරුණයා නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ. ඔහු පසුගිය 20 වන දා පෙරවරුවේ දිවයිනට පැමිණි අතර, කටුනායක ගුවන්තොටුපොළේදී ඥාතීන් වෙත භාරදීමට කාර්යාංශ නිලධාරීන් පියවර ගෙන ඇත.



මෙම වසරේ අගෝස්තු මස 09 වන දින ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති මෙම තරුණයා, එහි ගිය දින සිටම නියමිත සේවා ස්ථානයේ නොසිට විවිධ ප්‍රදේශවල සැරිසැරූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අගෝස්තු 30 වන දා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සොයා බැලීමකදී,

ඔහුව ජෙරුසලම් ප්‍රදේශයේදී හමුවී තිබේ.

එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති බැවින් සැප්තැම්බර් 05 වන දා ජෙරුසලම් රෝහලකට ඇතුළත් කරනු ලැබුවද, එදින රාත්‍රියේම ඔහු රෝහලෙන් පලාගොස් ඇත. ඉන් අනතුරුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් කිහිප වරක්ම ඔහුව සිය භාරයට ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැත. කෙසේ වෙතත්, සැප්තැම්බර් 16 වන දා ඔහුව තානාපති කාර්යාලයේ රැකවරණය යටතට ගැනීමට හැකිවී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනිණි. තරුණයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන නිලධාරිනියක්ද ඔහු සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයකි.



gossiplanka image 1