පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළදී සේවකයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ සෙසු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් මස 1 වන දා රාත්‍රියේ සිදු වූ මෙම ඝාතනයට යොදාගත් ආයුධය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අනියම් සම්බන්ධතාවක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ සමීප ඥාතිවරියක සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඇයගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයෙන් රහසිගතව ලබාගෙන,
ඒවා සෙසු සේවකයන්ට පෙන්වමින් සැකකරුට අපහාස කිරීම මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුකිරීමට නොව, බිය ගැන්වීමේ අරමුණින් තමන් ආයුධය රැගෙන ආ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇතත්, ඔහු විසින් පහර දෙන ආකාරය කර්මාන්ත ශාලාවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළියන්දල, තුන්බෝවිල පදිංචිව සිටි පාගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය නැමැති 40 හැවිරිදි දෙදරු පියෙකි. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval