
බාලවයස්කාර දරුවෙකු නීති විරෝධී ලෙස රඳවාගෙන හිංසාවට ලක් කිරීමෙන් ඔහුගේ සහ ඔහුගේ මවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ සඳහා වගකිව යුතු හිටපු වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුට රුපියල් 375,000ක පෞද්ගලික වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබේ. සැප්තැම්බර් 1 වන දා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
2022 වසරේ අගෝස්තු මස 6 වන දින, රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධ පැමිණිල්ලකට අනුව,
එවකට වයස අවුරුදු 15යි මාස 8ක් වූ මෙම දරුවා හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දින දෙකක් පොලිස් භාරයේ රඳවාගෙන සිටි කාලය තුළ දරුවාට අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බවට ඔහුගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි සඳහන් විය.
පොලිස් අත්අඩංගුවේදී සිදු වූ වධහිංසා හේතුවෙන් දරුවා රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඔහුට ඇප නියම වී තිබිණි. පසුව, ඔහුට එරෙහිව පැවති සොරකම් නඩුවෙන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබීම ද විශේෂත්වයකි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස්පතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව, බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන පැය හයක් ඇතුළත සහ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර දෙමාපියන්ට දැක බලා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවට සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දෙන ලෙස නියම කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval