සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී රජයට රුපියල් කෝටි 12කට අධික පාඩුවක් සිදුකළ මහා පරිමාණ වංචාවක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ බලපත්‍රය යටතේ පෞද්ගලික සමාගම් විසින් මෙම ආනයනය සිදුකර,
රජයට හිමිවිය යුතු මුදල් නොගෙවීමෙන් මෙම වංචාව සිදුකර ඇති බව සැප්තැම්බර් 2 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය.2023 වසරේදී පාකිස්තානයෙන් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දී ඇති අතර, ආනයනය කරන බඩඉරිඟු කිලෝග්‍රෑමයකින් රුපියල් තුනක මුදලක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට හිමිවිය යුතුය. එම මුදල නිසි ලෙස නොපියවීම හේතුවෙන් රුපියල් 12,18,64,655ක පාඩුවක් සිදුව ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ විමර්ශන පවත්වන බවත්, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම තුළින් මෙම වංචාවට රාජ්‍ය නිලධාරීන්ගේ ද සම්බන්ධයක් ඇතිදැයි පුළුල් ලෙස විමර්ශනය කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා සැකකරු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන්ගේ සාක්ෂි සාරාංශයක් ලබන දින ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval