රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය පිළිබඳව පළාත් මට්ටමින් රාජ්‍ය විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
රජයේ ඩිජිටල්කරණ සැලසුම් පිළිබඳ විධායක නිලධාරීන්ගේ අවබෝධය පුළුල් කිරීම සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. ඒ සඳහා මධ්‍යම පළාත් සභාව,
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීහු සහභාගී වූහ.
මෙම පළාත් මට්ටමේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට ප්‍රථම, කොළඹ කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් හයක් පවත්වා ඇති අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් 4000කට අධික පිරිසක් මේ වන විටත් සහභාගී වී තිබේ. කොළඹින් බැහැර සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර, රජයේ ඩිජිටල්කරණ සැලැස්ම තුළ රාජ්‍ය නිලධාරියාට පැවරෙන කාර්යභාරය සහ රාජ්‍ය සේවයට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව සමස්ත රාජ්‍ය සේවය දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.
ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුතුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හර්ෂ පුරසිංහ සහ සමීෂ අබේසිංහ යන මහත්වරු මෙම මහනුවර වැඩසටහනේ සම්පත් දායකත්වය සැපයූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval