07-double-cabs-for-healthcare-use

 සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ඩබල් කැබ් රථ 07 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. රුපියල් මිලියන 22 ක් වටිනා මෙම එක් කැබ් රථයක්

ඇතුළු රථ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක භාවිතය සඳහා නිල වශයෙන් භාරදීම ඊයේ (25) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.

මෙම වැඩසටහන යටතේ නුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා කැබ් රථ ලබා දෙන ලදී. ඊට අමතරව කොළඹ පිහිටි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයට ද එක් කැබ් රථයක් මෙහිදී නිල වශයෙන් භාර දෙනු ලැබිණි.

මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45 ක් ලබා ගැනීමට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මීට පෙර කටයුතු කර තිබුණි. එම සැලැස්මට අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී ඩබල් කැබ් රථ 38 ක් මිලදී ගෙන අදාළ සෞඛ්‍ය සේවා වෙනුවෙන් ලබා දී තිබූ අතර,

එහි ඉතිරි කැබ් රථ 07 මෙලෙස පසුගියදා ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන චාමික ගමගේ, සුනිල් ගලගම, ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග දිල්හාන් සෝමපාල සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

gossiplanka image 2