4-seniors-who-harassed-juniors-at-wayamba-university-remanded

 කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට නවක වදය ලබාදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් විරන්තන සතුරුසිංහ මහතා නියෝග කර ඇත.



මෙම පහරදීමෙන් තුවාල ලැබූ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අදාළ ශිෂ්‍යයා මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කුලියාපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ යුතු බවද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය වූ දිනයේ සවස හතරට පමණ අධ්‍යයන කටයුතු නිමවා පිටව යාමට සූදානම් වූ පැමිණිලිකාර ශිෂ්‍යයා, සැකකරුවන් විසින් ශිෂ්‍ය ඒකකයට කැඳවා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. එහිදී "වළ" නමින් හැඳින්වෙන ස්ථානයකදී ඔහුට අශෝභන ලෙස හැසිරෙන ලෙස දන්වා පසුව පහරදී ඇති බවට පොලිසිය වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිලරි ප්‍රසන්න මහතා, පැමිණිලිකරු සහ සැකකරුවන් එකම විශ්වවිද්‍යාලයේ සිසුන් වන බැවින් ඔවුන් එකිනෙකා හඳුනන බවත්, එබැවින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම අනවශ්‍ය බවත් අධිකරණයට දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මීළඟ නඩු දිනයේදී සැකකරුවන්ගේ මුහුණු ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

gossiplanka image 2