even-if-i-had-a-billion-i-wouldnt-spend-it-on-political-work-mp-jagath-manuwarna

 තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ කිසිදු නායකයෙකු සිය දේශපාලන කටයුතු සඳහා පෞද්ගලික ධනය වැය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනා මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන බවද ඔහු සඳහන් කළේය.



මාරස්සන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. පක්ෂයේ ක්‍රියාකාරීන් යැපෙන්නේ ජනතාවගේ මුදල්වලින් බවට සමාජයේ මතයක් පවතින බව පිළිගත් මන්ත්‍රීවරයා, තමන්ද එම ක්‍රමවේදයට අනුව කටයුතු කරන බව තහවුරු කළේය.

සිය මැතිවරණ ව්‍යාපාර මෙන්ම දෛනික දේශපාලන කටයුතුවලට අදාළ ගමන් බිමන් ඇතුළු සියලු වියදම් පක්ෂය විසින් හෝ ආධාරකරුවන් විසින් දරනු ලබන බව ඔහු පැහැදිලි කළේය.

තමා සතුව කෝටි සංඛ්‍යාත මුදලක් තිබුණද, එය කිසිවිටෙකත් දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බව පැවසූ ජගත් මනුවර්ණ මහතා, යමෙකු දේශපාලනයට පිවිසීම සඳහා සිය පෞද්ගලික ධනය වැය කරන්නේ නම් එහි යටි අරමුණ යළි මුදල් ඉපයීම බව පෙන්වා දුන්නේය. කිසිවෙකුත් පෞද්ගලික මුදල් දේශපාලනයට යෙදවිය යුතු නැත යන්න තම පක්ෂයේ දැඩි විනයක් සහ ක්‍රමවේදයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



 “පක්ෂයේ ඉන්න සහෝදරවරු යැපෙන්නේ ජනතාවගෙ මුදල්වලින් කියලා තියෙනවානෙ කතාවක්. ඔව්, මාත් එහෙම තමයි. මම මැතිවරණ කළෙත් පක්ෂයෙන් වියදම් කරපු මුදල්වලින්. මම මගේ ගමන් වියදම් බලන්නෙ, මගෙ යන එන වියදම් බලන්නෙ ඒ සියල්ල පක්ෂයෙන් තමයි. සහ එහෙම නැත්නම් අපට ආධාර කරන මිනිස්සු. ඒක එහෙම තමයි. මගෙ ළඟ බිලියන ගාණක් තිබුණත්, මිලියන ගාණක් තිබුණත් මම මගේ අතේ මුදල් මගේ දේශපාලන වැඩවලට වියදම් කරන්නේ නැත. මේක වසන්ත සමරසිංහ සහෝදරයාත් අදාළයි, අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති සහෝදරයාටත් අදාළයි, අගමැති හරිනි අමරසූරිය සහෝදරියටත් අදාළයි. දේශපාලනයට පෞද්ගලික ධනය වියදම් කරලා එනවා කියන්නෙම, මොකටද එන්නෙ ? හම්බකරන්න එන්නෙ … පක්ෂයේ විනය, ක්‍රමවේදය තමයි කිසිම කෙනෙක් තමන්ගෙ පෞද්ගලික මුදල් දේශපාලනයට වැය කළයුතු නැත”