ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ගොස් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෑතකදී සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ ශ්‍රී ලාංකිකයා නැවත මෙරටට පිටත්කර යැවූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.
ඔහුගේ අයහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන නිලධාරිනියකගේද සහය ඇතිව ඔහුව ශ්‍රී ලංකාවට එවීම සිදුවිය. ඒ අනුව ඔහු ඊයේ (19) උදෑසන ටෙල්අවිව් ගුවන් තොටුපළෙන් මෙරට බලා පිටත්ව ඇත. තානාපතිවරයා ඔහුට රැකවරණය දුන් සියලු දෙනාට සිය ස්තූතියද පළ කළේය.
මොහුට අමතරව මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පීඩාවට පත්ව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකුද මෙරටට එවා තිබේ. ගමන් බලපත්‍රය අස්ථානගතව තිබූ ඔහුට, තානාපති කාර්යාලය විසින් ගාස්තුවකින් තොරව තාවකාලික ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.
තානාපතිවරයා වැඩිදුරටත් හෙළිකළේ, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ගැටලුවලට මුහුණදුන් කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු (07) මෙම වසර තුළ පමණක් නැවත මෙරටට එවා ඇති බවයි. මීට සති දෙකකට පෙර මත්පැන් පානය කර සිටියදී නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූවෙකුද මෙසේ පිටත්කර එවා තිබේ.
පසුගිය කාලයේ ඊශ්‍රායලයේදී සියදිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනාද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි බවට වාර්තා වී ඇති බව පෙන්වා දෙන තානාපති නිමල් බණ්ඩාර මහතා, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීමෙන් වළකින ලෙස බලධාරීන්ගෙන් සහ අදාළ පාර්ශ්වවලින් විශේෂ ඉල්ලීමක් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval