දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක එන්ජිම ආසන්නයේ හටගත් ගින්නක් ක්ෂණිකව හඳුනාගත් එහි රියදුරු සහ සහයක, තත්පර කිහිපයක් තුළ සියලු මගීන් ඉවත් කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට සමත්වී තිබේ.
ගාල්ලේ සිට කඩුවෙල බලා කුඩා ළමුන් ඇතුළු මගීන් 41 දෙනෙකු රැගෙන ධාවනය වූ මෙම බස් රථය, ඊයේ (01) පෙරවරු 11:43ට පමණ කහතුඩුව පිවිසුම ආසන්නයේ 8.5 වන කිලෝමීටර් කණුව අසලදී මෙම අනතුරට ලක්වී ඇත. එන්ජින් කොටසින් දුමාරයක් පිටවන බව දුටු සැණින් අනතුර වටහාගත් රියදුරු,
බස් රථය මාර්ගය අයිනේ නවත්වා "ඉක්මනට බහින්න" යැයි මගීන්ට කෑගසමින්, කොන්දොස්තරගේද සහාය ඇතිව සියලු දෙනා ඉදිරිපස දොරටුවෙන් නිරුපද්‍රිතව එළියට ගැනීමට කටයුතු කර තිබේ. මගීන් බැස තත්පර කිහිපයක් ගතවෙද්දී බස් රථයේ අභ්‍යන්තරය ගිනි ජාලා සහ කළු දුමාරයෙන් මුළුමනින්ම වැසී ගොස් ඇත.
සිද්ධිය වූ විගස රියදුරු විසින් 1969 අධිවේගී මාර්ග පාලන මධ්‍යස්ථානය දැනුවත් කර ඇති අතර, මිනිත්තු පහක් ඇතුළත පැමිණි අධිවේගී මාර්ග පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කර ඇත.
වසර 35ක පළපුරුදු රියදුරෙකු වන හබරාදුවේ කේ.ඩබ්ලිව්. ප්‍රියන්ත සිල්වා මහතා පවසා සිටියේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ලද පුහුණුවේදී "දේපළවලට වඩා ජීවිත බේරාගැනීමට" ලැබුණු උපදෙස් මෙම අවස්ථාවේදී තීරණාත්මක වූ බවයි. කොන්දොස්තර ප්‍රේමලාල් කරුණාරත්න මහතාගේ සහායද ඇතිව මගීන්ගේ බෑග් සහ අනෙකුත් භාණ්ඩ පවා ගින්නට හසුවීමට පෙර බස් රථයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. ගින්නෙන් බස් රථයේ එන්ජිම, ආසන සහ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval