
රන් භාණ්ඩ සොරකම් කළ හොරෙකුගෙන් රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් ලබාගෙන ඒවා සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොස්තාපල්වරයා මාලිගාවත්ත පොලිසියේ දූෂණ මර්දන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.
මීට මාසයකට පමණ පෙර හොරණ, සීලරතන මාවතේ ඇඟලුම් සේවිකාවකගේ නිවසක් බිඳ මෙම රන් භාණ්ඩ තොගය සොරකම් කර තිබේ. මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රන් භාණ්ඩ උකස් තැබීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට යමින් සිටියදී මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් අල්ලාගෙන ඇත.
එහිදී එම නිලධාරීන් අතර සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ තමා භාරයට ගෙන,
සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවක් පවරා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. පසුව ඇප මත මුදා හැරුණු මෙම සැකකරු ඇතුළු තවත් අයෙක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම් කළ රන් භාණ්ඩ පොලිස් කොස්තාපල්වරයෙකු ලබාගත් බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අදාළ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
සැකකරුවන් තිදෙනාම හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval