
ශ්‍රී ලංකාවේ එප්පාවල පොස්පේට් නිධියෙන් කැණීම් කරන ලද පොස්පේට්, සම්මත මිලට වඩා අඩු මුදලකට හිතවත් සමාගම් වෙත අපනයනය සඳහා ලබා දීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට වන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය ඇතුළු තිස් දෙදෙනෙකුගෙන් යුත් වගඋත්තරකාර පාර්ශ්වයකට එරෙහිව මෙම නඩුව විභාග වනු ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම, ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සැප්තැම්බර් පළමුවන දින සලකා බලන ලදී. වගඋත්තරකරුවන් අතර හිටපු ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයට අමතරව භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා ද වෙති.
පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා, ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් නිධියෙන් සම්පත් ලබා ගැනීම, 2000 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් උල්ලංඝනය කරමින් සිදුකරන බවට පෙන්වා දුන්නේය. ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට,
තෝරාගත් සමාගම් කිහිපයකට පොස්පේට් මෙට්‍රික් ටොන් තොග ලබා දීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට සහ ශ්‍රී ලංකාවේ මහජනතාවට දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව නීතීඥවරයා අවධාරණය කළේය. තවද, විෂය භාරව කටයුතු කළ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දෙන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය වැනි රාජ්‍ය ආයතනවලට බලපෑම් කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද අධිකරණයට දන්වන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම විභාගය සඳහා භාර ගැනීමට තීරණය කළ අතර, එහි විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 09 වන දින නියම කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval