
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට යුද මුක්ත කලාපයෙන් මිදී පලා යෑමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවට හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
යුද්ධයේ අවසන් අදියර වූ 2009 වසර වන විට, ශ්‍රී ලංකා යුද හමුදාව පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය තුන් පැත්තකින්ම වටලා තිබූ බවත්,
හමුදාවට ඉදිරියට ගමන් කිරීමට ඉතිරිව තිබුණේ කිලෝමීටර් දහයක පමණ කෙටි දුරක් බවත් ඒ මහතා සිහිපත් කළේය.
2009 වසරේ ජනවාරි 26 වන දින මුලතිව් නගරය හමුදාව විසින් අත්පත් කරගත් බවත්, ඉන් පැය දොළහක් වැනි කාලයක් තුළ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයට කිලෝමීටර් හතක් හෝ අටක් පමණ ආසන්නයට ළඟා වීමට හමුදා සේනාංක සමත් වූ බවත් ෆොන්සේකා මහතා පැවසුවේය.
එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2009 ජනවාරි 27 වන දින තමා අමතා, වසර දෙකහමාරක් තිස්සේ යුද මෙහෙයුම්වල නිරත වූ බැවින් විවේකයක් ලබාගෙන වවුනියාවේ සිටි ජගත් ජයසූරියට යුද මෙහෙයුම් භාර දෙන ලෙස දැනුම් දුන් බව ෆොන්සේකා මහතා හෙළි කළේය. අවසන් ජයග්‍රහණයට ඉතා ආසන්නව තිබියදී තමාට විවේක ගැනීමට කළ එම යෝජනාව, ප්‍රභාකරන් ඇතුළු පිරිසගේ විනාශය ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් ලෙස තමා දුටු බවත්, එම ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂක මණ්ඩලයේ විරෝධය නොතකා, 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 01 යන දිනවලදී පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවද ෆීල්ඩ් මාර්ෂල්වරයා කීය. එම සටන් විරාමය අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වී දරුණු ප්‍රහාරයක් එල්ල කළ බවත්, එමඟින් හමුදාවට කිලෝමීටර් හතරක් හෝ පහක් පසුපසට පැමිණීමට සිදු වූ අතර සෙබළුන් පන්සීයකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වූ බවත් ඔහු පැවසුවේය.
මෙම සටන් විරාමය ලබාදීමේ සැබෑ අරමුණ වූයේ ප්‍රභාකරන් ඇතුළු නායකයින්ට පළා යෑමට අවස්ථාව සලසා දීම බවට චෝදනා කළ ෆොන්සේකා මහතා, එම කාලය තුළ එරික් සෝල්හයිම් වැනි විදේශීය නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවති බවද කියා සිටියේය. කෙසේ වෙතත්, ප්‍රභාකරන් පළා නොගොස් හමුදාව සමඟ නැවත ගැටුම් ඇති කර ගැනීම නිසා යුද්ධය අවසන් කිරීමට හැකි වූ බවත්, එදින එම සටන් විරාමය ලබා දුන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඕනෑම ස්ථානයකදී පැහැදිලි කරන ලෙස තමා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval