businessman-ashok-pathirage-to-appear-in-court-after-warrant-issued

ආසිරි රෝහල් ජාලය හිමි සොෆ්ට් ලොජික් අධිපති කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ඇතුළු ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය, තමන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවක් ආපසු කැඳවන ලෙස ඉල්ලමින් අද (26) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.



නේවාසික රෝගියෙකු සඳහා නියමිත මිලට වඩා වැඩි මිලකට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය විසින් ඊයේ (25) දිනයේදී මෙම අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලදී.



මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණු ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන අශෝක් පතිරගේ මහතා ඇතුළු අධ්‍යක්ෂවරුන් අට දෙනෙකු සිය නීතීඥයින් මාර්ගයෙන් අද දින අධිකරණයට භාර විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත උල්ලංඝනය කරමින් ඖෂධ වර්ග එකොළහක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ රෝහල වරද පිළිගැනීමෙන් අනතුරුව, අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කර තිබූ නියෝගයක් නොසලකා හැරීම මෙම වරෙන්තු නිකුත් කිරීමට මුල් විය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම වරෙන්තු නියෝගය නිකුත් කර තිබිණි.

අංක 52624/23 යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ආසිරි මෙඩිකල් රෝහල

සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන විශාල් බාලි, අශෝක පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ ඩී. බී. සඳතිසරු නම් කර ඇත. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටී.

කෙසේ වෙතත්, ඉන්දීය ජාතිකයෙකු වන විශාල් බාලි නමැති අධ්‍යක්ෂවරයා වෙත නිසි පරිදි සිතාසි භාරදී නොතිබූ බැවින්, මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය ඔහුට නියෝග කළාය.