ඇමරිකාවේ ඩලාස් නුවර පිහිටි එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) කාර්යාලයට පසුගියදා එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී, ප්‍රහාරකයාගේ අරමුණ වී ඇත්තේ එම ආයතනයේ නියෝජිතයන් තුළ "සැබෑ භීෂණයක්" ඇති කිරීම බවට ඔහුගේම අත් අකුරින් ලියන ලද සටහන් මගින් අනාවරණය වී තිබේ.
ටෙක්සාස්හි ෆෙයාවිව් හි පදිංචි 29 හැවිරිදි ජොෂුවා ජාන් ලෙස හඳුනාගෙන ඇති මෙම වෙඩික්කරු, FBI ආයතනය පවසන පරිදි මෙම ප්‍රහාරය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ඇත.ප්‍රහාරකයා විසින් ඉතිරි කර ගොස් තිබූ එක් සටහනක, "වහලක් මත සන්නාහ විදින උණ්ඩ සහිත ස්නයිපර් වෙඩික්කරුවෙකු සිටී, මෙමගින් ICE නියෝජිතයන්ට සැබෑ භීතියක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි" යනුවෙන් පැහැදිලිව සඳහන්ව තිබී ඇත. මෙම ප්‍රහාරකයා සිය ඉලක්කය ICE නිලධාරීන් බව තහවුරු කරමින්, සිද්ධිය වූ ස්ථානයේ තිබී "ANTI-ICE" යනුවෙන් කොටන ලද උණ්ඩ කොපුවක් ද පරීක්ෂකයින් විසින් සොයාගෙන තිබේ.
FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් තහවුරු කර ඇත්තේ, මෙම ප්‍රහාරය පිටුපස මතවාදී චේතනාවක් පවතින බවට මූලික සාක්ෂි මගින් පෙනී යන බවයි. පරීක්ෂණවල කොටසක් ලෙස, සිද්ධිය වූ ස්ථානයෙන් සහ සැකකරුගේ නිවසෙන් සොයාගත් උපකරණ සහ ලිපි ලේඛන රැසක් විමර්ශන කණ්ඩායම් භාරයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහුගේ මෙම ක්‍රියාව කිසිදු සංවිධානයකට සම්බන්ධයක් නොමැතිව, ICE ආයතනය කෙරෙහි ඇති දැඩි සතුරු ආකල්පය මත තනිව සිදුකරන ලද්දක් බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති නමුත්, වෙඩික්කරුගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ රැඳවියන් වෙත නොව ICE සේවකයින් වෙත බව බලධාරීන් පෙන්වා දෙයි. ප්‍රහාරකයා අහඹු ලෙස වාහනවලට වෙඩි තබමින් සිටියදී, ICE නියෝජිතයින් වෙඩි ප්‍රහාර මධ්‍යයේම රැඳවියන්ව ඉන් ඉවතට ඇද දමමින් ඔවුන්ව ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට තොරතුරු වාර්තා වේ.
සිය ලේඛන තුළ ICE නිලධාරීන්ව "අපිරිසිදු වැටුප් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්" ලෙස හඳුන්වා ඇති ජොෂුවා ජාන්, ෆෙඩරල් රජය කෙරෙහි දැඩි සතුරු ආකල්පයකින් පසුවී ඇති බවට විමර්ශන මගින් පෙනී ගොස් ඇත. ඔහු අලුයම 3.00 ට පමණ සිය මෝටර් රථයේ විශාල ඉණිමඟක් රැගෙන යන අයුරු දර්ශනවල සටහන්ව ඇති බවත්, එම ඉණිමඟ භාවිතයෙන් ගොඩනැගිල්ලේ වහලය මතට නැග ප්‍රහාරය සඳහා ස්ථානගත වන්නට ඇති බවටත් බලධාරීන් විශ්වාසය පළ කරයි. පසුව ඔහු විසින්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
(Sky News ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval