එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදලේ පළමු වාරිකය සම්පූර්ණයෙන් ගෙවීමට අදාළ සමාගම් සමූහය අපොහොසත් වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක, ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසයි. සැප්තැම්බර් 23 වන දිනට ගෙවිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 250ක (රුපියල් කෝටි 750) මුදලින් ගෙවා ඇත්තේ රුපියල් කෝටි 30ක මුදලක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි මස 24 වන දින ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාරව, 'එක්ස්ප්‍රස් පර්ල් ගෲප්' ලෙස හඳුන්වන පාර්ශ්ව කිහිපයක් සාමූහිකව හෝ තනි තනිව ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට බැඳී සිටී. අදාළ නෞකා සමාගම, එහි මෙහෙයුම් සමාගම වන එක්ස්ප්‍රස් ෆීඩර්ස්, සී. කොන්සෝටියම් ලංකා සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් මෙම පාර්ශ්වයන්ට අයත් වේ. එහෙත් මේ දක්වා එම සමූහයෙන් එක් පාර්ශ්වයක් පමණක් වාරිකය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ගෙවා ඇති බව දාබරේ මහතා සඳහන් කරයි.
මේ අතර, සී. කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපතිවරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් දන්වා ඇත්තේ තම සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදලක් පළමු වාරිකය ලෙස සැප්තැම්බර් 22 වන දින භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවූ බව යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා පැවසීය. කෙසේ වෙතත්, නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කළ එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්මුවෙල් යොස්කොවිට්ස්, තම සමාගම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කරන බවත්, නියමිත වන්දිය නොගෙවන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙම නඩුව එළඹෙන සැප්තැම්බර් 25 වන දින යළි කැඳවීමට නියමිතය. නියමිත වන්දි මුදල් නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් එදිනට අධිකරණය හමුවේ විරෝධතාවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval