a-key-member-of-the-jaffna-awa-gang-was-arrested-at-the-airport-while-attempting-to-flee-to-dubai

 උතුරු පළාතේ සිදු වූ කඩු ප්‍රහාර රැසකට සම්බන්ධ "ආවා" කල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු ඩුබායි රාජ්‍යය බලා පළා යෑමට උත්සාහ දැරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය සමත් වී තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු, යාපනය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් සැප්තැම්බර් 23 වන දා සවස් කාලයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.





මෙම සැකකරු ඇතුළු ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් ඉකුත් සැප්තැම්බර් 08 වන දින පුද්ගලයෙකුට කඩුවලින් කපා බරපතළ තුවාල සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විටත් සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු රටින් පළා යෑමට සූදානම් වන බවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ යාපනය පොලිසියේ විශේෂ නිලධාරී කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර, සිද්ධියට සම්බන්ධ සෙසු කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විමර්ශන පුළුල් කර ඇත.