සීනිමෝදර ප්‍රදේශයේ අභිරහස් මරණ සිදු වූ නිවසක් ආසන්නයේ නවතා තිබූ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක දැවැන්ත තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම සිදුවීමට අදාළව පුද්ගලයන් සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි රථ දෙකක හිමිකරුවන්, එක් ලොරි රථයක රියදුරෙකු සහ අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ 25 හැවිරිදි සරසවි සිසු පුත්‍රයා ද වන බව වාර්තා වේ.
සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිත බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මුහුදු මාර්ගය ඔස්සේ පාකිස්තානයේ සිට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන මෙම මත්ද්‍රව්‍ය, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙරට ධීවර යාත්‍රාවලට පටවා දකුණු මුහුදු තීරයට ගෙන එන්නට ඇති බවට විමර්ශකයෝ සැක පළ කරති. එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිම ඔස්සේ ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කළ ප්‍රධාන පුද්ගලයා සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.
තංගල්ල, තලාව දකුණ ප්‍රදේශයේ තිබී සොයාගත් මළ සිරුරු දෙක සහ රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තීරණාත්මක තොරතුරු දැන සිටින්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි. විදේශගතව සිටින
"උණාකුරුවේ ශාන්ත" නැමැත්තා විසින් එවන ලද මෙම මත්ද්‍රව්‍ය වෙරළේ සිට ප්‍රවාහනයට ඔවුන්ගේ සහය ලැබී ඇත්ද යන්න පිළිබඳව ද අවධානය යොමුව තිබේ.
"උණාකුරුවේ ශාන්ත" මීට පෙරද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට එවූවෙකු බවට තොරතුරු පවතී. 2024 වසරේ නොවැම්බර් 26 වන දින ඔහු විසින් පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරියක සඟවා එවන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 72ක් මීගොඩ, වටරැක ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේදීත් මෙරට ජාවාරම මෙහෙයවූ නියෝජිතයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළ ද ඔහු පළාගොස් තිබූ අතර, මෙම ජාවාරමට ද සම්බන්ධ වන්නේ එම පුද්ගලයාම ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ සැකය මතුව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval