
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් උදෙසා පැවැත්වෙන දානමය පින්කමකට අවශ්‍ය බව පවසා අනුරාධපුරයේ වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කජු සහ මිදී තොගයක් වංචනික ලෙස ලබා ගැනීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර කාන්තාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී වෙළෙඳසල් හිමියා විසින් හඳුනාගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකාරිය, අනුරාධපුර බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී මෙසේ හඳුනාගෙන ඇත. සැකකාරිය හඳුනා ගැනීමෙන් පසු ඇය ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ලබන දෙසැම්බර් මස 29 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.
අනුරාධපුර ප්‍රේමන් මාවතේ පිහිටි සඳමාලි කජු සලෙහි හිමිකරු වන ඒ.ආර්. ඉන්ද්‍රසේන මහතා අනුරාධපුර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවූ පොලීසිය මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් බව පවසා සැකකාරිය මුලින් අදාළ වෙළෙඳසලට දුරකථන ඇමතුම් ලබා දී කජු කිලෝග්‍රෑම් 25ක් සහ මිදී කිලෝග්‍රෑම් 25ක් සඳහා
අදාළ මුදල් වෙළෙඳසලේ ගිණුමට බැර කරන බවට සාකච්ඡා කර ගෙන ඇත. එලෙස සාකච්ඡා කරගෙන වංචනික ලෙස ලබාගත් කජු සහ මිදී විවිධ ස්ථානවලට විකුණා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන එස්. නන්දසේන සහ වන්නිනායක යන මහත්වරුන් පෙනී සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval