ceb-suspends-employee-leave-group-seeking-restructuring-joins-new-companies

රටේ විදුලි සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් 2025 සැප්තැම්බර් 21 දිනැති අංක 2454/68 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරී ඇති ජාතික වගකීම සහ සේවා අවශ්‍යතාවය සලකා මෙම තීරණය ගත් බව නිවේදනයක් මගින් දන්වා ඇත.



කෙසේ වෙතත්, හදිසි හා අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක්, අදාළ සේවා ස්ථානයට අනුයුක්ත විධායක ශ්‍රේණියේ පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ නිලධාරියෙකුගේ නිශ්චිත අනුමැතිය මත සේවකයන්ට නිවාඩු ලබා ගැනීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



මේ අතර, ලංකා විදුලිබල සංශෝධන පනතට අනුව ස්ථාපිත කෙරෙන පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත නව සමාගම් වෙත අනුයුක්ත වීමට සිය කැමැත්ත පළ කරමින් ලංවිම සේවකයින් පිරිසක් ලිපි ලබා දීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත යටතේ ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම ලෙස සමාගම් හතරක් පිහිටුවා තිබේ.

අදාළ සේවකයින් පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා වෙත සිය කැමැත්ත පළ කිරීමේ ලිපි සැප්තැම්බර් 22 වන දින පෙරවරුවේ ලංවිම මූලස්ථානයේදී භාර දුන් අතර, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා ද එම අවස්ථාවට සහභාගී විය. රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සේවකයන්ගේ සහය හිමිවෙමින් පවතින බව මෙමගින් පෙනී යන බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළේය.

ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ජනතාවට විදුලි බිල සහනයක් ලබා දීම, කර්මාන්ත සඳහා අඩු පිරිවැයක් යටතේ විදුලිය සැපයීම වැනි ප්‍රතිලාභ රැසක් අපේක්ෂා කරන බව ඔහු පැවසීය. මෙම ක්‍රියාවලියේදී විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ මෙහෙයුම් යන අංශ සඳහා 100%ක්ම භාණ්ඩාගාර ලේකම්වරයාට කොටස් අයිති රාජ්‍ය සමාගම් හතරක් නීත්‍යානුකූලව පිහිටුවන බවත්, පරිවර්තන ක්‍රියාවලිය සඳහා තවත් තාවකාලික සමාගම් දෙකක් ඇති කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී කිසිදු සේවකයෙකු ඉවත් කිරීමට රජයේ සූදානමක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, නව සමාගම් හා එක්වීමට අකමැති සේවකයින්ට රුපියල් ලක්ෂ 9 සිට ලක්ෂ 50 දක්වා වූ වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ඇති බව ද කියා සිටියේය. රටේ විදුලි සැපයුම බිඳ වැටීමට ඉඩ නොතබන බවත්, එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් වන්දි මුදල ලබාගෙන ඉවත් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.