four-arrested-for-stealing-rs-20-million-from-the-account-of-the-incumbent-of-the-panadura-temple

 
පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බැංකු ගිණුමකින් රුපියල් දෙකෝටි අට ලක්ෂය ඉක්මවූ මුදලක් සූක්ෂම ලෙස වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය තහවුරු කරයි.





මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ, ජා-ඇල, මිනුවන්ගොඩ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 33, 34, 45 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි. විහාරාධිපති හිමිනම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

විහාරාධිපති හිමියන් සිය බැංකු ගිණුම පානදුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගොස් ඇති අතර,

මීට කලකට ඉහතදී උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත අස්ථානගතවී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

සැකකරුවන් විසින් අදාළ බැංකුවේ නාරම්මල ශාඛාව හරහා අවස්ථා කිහිපයකදී වංචනික ලෙස මෙම මුදල් සිය පෞද්ගලික ගිණුම් වෙත මාරු කරගෙන ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.